රාමේස්වරන් සහ තලෙයිමන්නාරම අතරත් නැව් සේවාවක් ඇරඹෙයි

October 16, 2023 - 1:33 PM
වසර හතළිහකට පසුව තමිල්නාඩුවේ නාගපට්ටම් වරායේ සිට කන්කසන්තුරේ වරාය දක්වා මගී ප්‍රවාහන නැව් සේවාව පෙරේදා (14 ) ආරම්භ වුණා.

නාගපට්ටම් හා කන්කසන්තුරේ අතර ගමන් වාරයක් සඳහා පැය තුනක කාලයක් ගත වනවා.

ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර නැව් සේවාව මේ වන විට දිනපතා ක්‍රියාත්මක වන අතර මෙම ගමන සඳහා තනි ගාස්තුව රුපියල් 27,000ක් බව සඳහන්.

එමෙන්ම යාමට සහ ඒමට රුපියල් 53,500 ක් අය කෙරෙන අතර එක් මගියකුට කිලෝ ග්‍රෑම් 50 ක බරක් රැගෙන යා හැකියි.

මෙම නැව් සේවාව ආරම්භ වූ අවස්ථාවේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හා ශ්‍රී ලංකාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්වරු අන්තර්ජාල තාක්ෂණය ඔස්සේ සහභාගි වෙමින් සුබපැතුම් එක් කළා.

එහිදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා කියා සිටියේ රාමේස්වරන් හා තලෙයිමන්නාරම අතර නැව් සේවාවද ඉතා ඉක්මනින්ම ආරම්භ කරන බවයි.
(lknews.lk)