සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස කිරීම් හා පළිගැනීම් වැළැක්වීමට නියාමනයක්

October 17, 2023 - 10:31 AM
සමාජ මාධ්‍ය නිදහස ඕනෑම අයෙකුට ඇති නමුත්, එය අනෙකාට අපහාස කිරීම හෝ පළිගැනීමේ චේතනාන්විතව යොදා ගැනීම වැළැක්වීමට නීති රීති ගෙන එන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා.

සිංගප්පූරුවේ තොරතුරු සන්නිවේදන මාධ්‍ය අධිකාරි පනත එරට දියුණුවට ඉතාමත් වැදගත් වූවා සේම සත්‍ය තොරතුරු දැනගැනීමේ පුරවැසියාට ඇති අයිතිය සුරක්ෂිත කරමින් ශ්‍රී ලංකාව ද ලෝකයේ ඉහළට ඔසවා තැබීමට වත්මන් රජය කටයුතු කරමින් සිටින බවයි මන්ත්‍රීවරයා සඳහන් කළා.

“ස්ථාවර රටකට- සැවොම එක මගකට” මැයෙන් අද (16) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් වජිර අබේවර්ධන මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළා.

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ කොමිෂන් සභාව පිහිටුවීම මගින් පර්යේෂණාත්මක මාධ්‍යවේදියක් මෙන්ම පර්යේෂණාත්මක පුරවැසියෙකු නිර්මාණය වන බවයි ඔහු එහිදී පෙන්වාදුන්නේ.

අපහාසාත්මක හා අසත්‍ය තොරතුරු මාර්ගගත ක්‍රමය හරහා ලබාදෙන පුද්ගලයින්ට දඩුවම් ලබා දීම සිදුවන්නේ අධිකරණ ක්‍රියාවලියක් හරහා බවත් කොමිසමට දඩුවම් ලබාදීමේ අයිතියක් නොමැති බව වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළා.
(lknews.lk)