කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍රය පිටවීමට අදාළ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

January 16, 2024 - 2:54 PM
මෙවර අ.පො.ස. උසස් පෙළ විභාගයේ කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍රය විභාග පැවැත්වීමට පෙර පිට කර සමාජ මාධ්‍ය වෙත මුදාහළ විභාග ශාලාධිපතිවරයෙකුගේ කාර්යාල කාර්ය සහායකවරයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොහු මොරටුව ප්‍රදේශයේ පාසලක විභාග ශාලාධිපතිවරයාගේ කාර්යාල කාර්ය සහායක ලෙස කටයුතු කරමින් සිටි අයෙකු බව සඳහන්.

මෙම ප්‍රශ්න පත්‍ර පිටකිරීමේ සිද්ධියේ දැනට හඳුනාගෙන ඇති ප්‍රධාන සැකකරු මොහුයි.

මූල්‍ය ලාභයක් පදනම් කරමින් මොහු මෙම ක්‍රියාව කර ඇති බව ද විමර්ශන නිලධාරීහු සැක පළ කරනවා.

අදාළ සැකකරු 38 හැවිරිදි වියෙහි පසුවන අයෙකු බවත් ඔහුගේ පදිංචිය මොරටු ප්‍රදේශය බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

කෘෂි විද්‍යාව පළමු ප්‍රශ්න පත්‍රය වන, බහුවර්ණ ප්‍රශ්න 50කින් සැදුම්ලත් ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 16ක් පිට වී ඇති බවත් එය මුල් ප්‍රශ්න පත්‍රයෙන් ම ඡායාරූප ගෙන පිට කොට ඇති බවත් අනාවරණය වී තිබෙනවා.
(lknews.lk)