පොලිස්පති සී.ඩීගේ තුන්වැනි සේවා දිගුව අදින් අවසන්

November 02, 2023 - 3:33 PM

පොලිස්පති චන්දන දීපාල් වික්‍රමරත්න මහතාට තුන්වැනි වරට ලබා දුන් සේවා දිගුව අදින් අවසන් වනවා.

නමුත් මේ වන තුරු පොලිස්පති ධුරය සඳහා නිර්දේශිත නාමයක් ව්‍යවස්ථා දායක සභාවට ඉදිරිපත් වී නැති බවයි වාර්තා වන්නේ.

නියමිත වයස හා සේවා කාලය සම්පූර්ණ වීමෙන් අනතුරුව ඉකුත් මාර්තු මාසයේ දී විශ්‍රාම යෑමට නියමිතව සිටි පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාට ජනාධිපතිවරයා විසින් පළමු සේවා දිගුව ලබා දුන් අතර එය ඉකුත් ජුනි මාසයේ දී අවසන් වුණා.

අනතුරුව ඔහුට නැවත මාස තුනක කාලයක් සඳහා සේවා දිගුවක් ලබා දීමට ජනාධිපතිවරයා කටයුතු කළ අතර එය ඉකුත් ඔක්තෝබරයේ දී අවසන් වූ පසු ජනාධිපතිවරයා විසින් නැවත වතාවක් ඔහුට සති තුනක සේවා දිගුවක් ලබා දීමට කටයුතු කළා.

එම සේවා දිගුවට ලබා දීම සඳහා හේතුව ලෙස පෙන්වා දුන්නේ, ජනාධිපතිවරයා එවක දී චීනයේ නිල සංචාරයක නිරත වී සිටීමත්, මහජන ආරක්ෂ අමාත්‍යවරයාත් රටින් බැහැරව සිටීමත් යන කාරණායි.

කෙසේ නමුත් ජනාධිපතිවරයා විසින් ලබා දී තිබූ එම සේවා දිගුව අදාළ අවස්ථාවේ දී අවලංගු කිරීමට ව්‍යවස්ථා දායක සභාව කටයුතු කළ නමුත් ජනාධිපතිවරයා යළි ඔහුව සේවයේ පිහිටුවීමට කටයුතු කළා.
(colombotimes.lk)