පිළිකා රෝගීන්ගේ මුදල් සොරකම් කරන ජාවාරමක තතු හෙළිවෙයි

December 06, 2023 - 6:27 PM
පිළිකා රෝගීන්ගේ බැංකු ගිණුම්වලට පරිත්‍යාග කළ මුදල් සොරකම් කරන ජාවාරමක් පිළිබඳ තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අනාවරණය කරගෙන තිබෙනවා. 

පිළිකා රෝගීන්ගේ බැංකු ගිණුම් වෙත ජනතාව විසින් පරිත්‍යාග කරන ලද මුදල් එම බැංකුවලින් වංචනික ලෙස ලබා ගැනීමේ ජාවාරමක් රට පුරා ක්‍රියාත්මක වන බවයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා පැවසුවේ. 
 
කඩුවෙල ප්‍රදේශයේ පිළිකා රෝගියෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව ඔහුගේ රාජ්‍ය බැංකුවක ගිණුමට පරිත්‍යාග කර තිබූ රුපියල් මිලියන 3.8 ක මුදලක් නාඳුනන පුද්ගලයන් විසින් වංචනික ලෙස ලබාගෙන තිබෙනවා. 
 
පිළිකා රෝගීන් අන්තර්ජාලයෙන් මුදල් ඉල්ලා කරන ඉල්ලීම්වලට ප්‍රතිචාර දක්වන වංචනිකයින්, එම පිළිකා රෝගීන්ට මුල්‍ය ප්‍රතිලාභ ලබා දෙන බව පවසා එම රෝගීන්ගේ බැංකු ගිණුම් අංක, ජාතික හැඳුනුම්පත් අංක සහ දුරකථන අංක ලබාගෙන ඇති බවයි විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ. 
 
කඩුවෙල පිළිකා රෝගියා සම්බන්ධ මුල්‍ය වංචාවට සම්බන්ධ එක් සැකකරුවෙකු හඳුනාගෙන ඇති බවත් ඔහු අත්අඩංගුවට ගැනීමට කටයුතු කරමින් සිටින බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියා.
(colombotimes.lk)