තවත් පිරිසකට ගුරු පත්වීම්

January 24, 2024 - 2:14 PM
ගුරුවරු 5,500ක් අලුතින් බඳවා ගැනීමට මේ වනවිට ගැසට් කර තිබෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසනවා. 

ඒ අනුව රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, ජීව විද්‍යාව, ගණිතය, තාක්ෂණවේදය හා විශේෂ භාෂා සඳහා එම ගුරු පත්වීම් ලබාදීමට නියමිත බවයි අමාත්‍යවරයා පැවසුවේ. 
 
මේ අතර 22,000ක් උපාධිධාරීන් බඳවා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මාස 9ක් පුරා පෙත්සම් විභාගය පවත්වා අවසන් බවත් එහි තීන්දුව ලබන සතියේ ලබාදෙනු ඇතැයි තමා විශ්වාස කරන බවත් අමාත්‍යවරයා පැවසුවා. 
 
නමුත් ඒ පිරිස මේ වනවිටත් පාසල්වල සිටින බැවින්, ගුරු පුරප්පාඩු ලෙස පවතින 40,000ක ප්‍රමාණයෙන් අදාළ පිරිස ඉවත් කළ යුතු බව ද සඳහන් කළා. 
 
ඊට අමතරව ගුරු පත්වීම් 13,500ක් ලබාදීමට පළාත් සභා සියල්ල මේ වනවිට කටයුතු සිදුකර ඇතත් ඒ සම්බන්ධයෙන් පවතින අධිකරණමය කටයුත්ත හේතුවෙන් එය ද ප්‍රමාද වී ඇති බව පැවසු අමාත්‍යවරයා අද දිනය තුළ ඒ සම්බන්ධයෙන් අධිකරණ තීන්දුව ලැබෙනු ඇති බව ද වැඩිදුරටත් සඳහන් කළා. 
 
පාර්ලිමේන්තුවේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අසන ලද පැනයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
(lknews.lk)