යළි වෛරසයක් පැතිරයාම ඇරඹේ

September 21, 2023 - 1:20 PM
ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේ Nipah නම් භයානක වෛරසයක් පැතිරයාම ආරම්භ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මේ හේතුවෙන් අවම වශයෙන් මරණ දෙකක් සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව කේරල ප්‍රාන්ත බලධාරීන් විසින් එම ප්‍රදේශයේ පාසල් සහ කාර්යාල වසා දමා තිබෙනවා.

මීට අමතරව නිවැසියන් සිය ගණනක් පරික්ෂාවට ලක්කිරීමටද පියවර ගෙන ඇති බව සඳහන්.

එමෙන්ම කේරල ප්‍රාන්ත වැසියන් හට මුඛ ආවරණ පළඳින ලෙසද දැනුම්දී තිබෙනවා.

මෙම වෛරසය සඳහා නිශ්චිත ප්‍රතිකාර නොමැති වුවද මෙය ගෝලීය හදිසි තත්ත්වයක් කරා වර්ධනය නොවනු ඇති බව බලධාරීන් පවසනවා.

එමෙන්ම මෙම වෛරසය හේතුවෙන් ඉහළ මරණ අනුපාතිකයක් බලාපොරොත්තු විය නොහැකි බවද ඔවුන් සඳහන් කළා.

Nipah වෛරසය යනු Zoonotic රෝග වර්ගයක් ලෙස සඳහන්.

එනම් එය මූලික වශයෙන් සතුන් තුළ දක්නට ලැබෙන අතර පසුව සතුන් සහ මිනිසුන් අතර පැතිර යා හැකි වෛරසයක් වනවා.

1999 වසරේ මැලේසියාවේ සහ සිංගප්පූරුවේ ඌරන්ට සහ මිනිසුන්ට මෙම වෛරසය ප්‍රථම වතාවට ශරීරගත වී ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම වවුලන් හරහාද මෙම වෛරසය ව්‍යාප්ත වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

වෛරසය ශරීර ගතවී දින 14ක් තුළ රෝග ලක්ෂණ මතුවන බව වෛද්‍යවරු පවසනවා.

මෙහි පොදු රෝග ලක්ෂණය වන්නේ උණ, හිසරදය, කැස්ස, උගුරේ අමාරුව, හුස්ම ගැනීමේ අපහසුතාව සහ වමනයයි.
(lknews.lk)