සිවුරක් පැළඳවීමෙන් අවුකන බුද්ධ ප්‍රතිමාවට කිසිදු හානියක් සිදුව නැහැ - පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව

December 08, 2023 - 1:58 PM

අවුකන බුද්ධ ප්‍රතිමාවට සිවුරක් පැළඳවීමේ සිදුවීමෙන් බුද්ධ ප්‍රතිමාවට හෝ ඒ අවට පුරාවිද්‍යා සාධකවලට කිසිදු භෞතික හානියක් සිදුව නොමැති බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් අනුරාධපුර පුරාවිද්‍යා අධ්‍යක්ෂ වෙතින් කඩිනමින් වාර්තාවක් කැඳවූ අතර ඒ අනුව අවුකන බුද්ධ ප්‍රතිමාව ආශ්‍රිතව ස්ථානීය පරීක්ෂාවක් සිදු කළ බවයි එම දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් K.D.R නිශාන්ති ජයසිංහ මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

“විහාරස්ථානයේ වාර්ෂිකව පැවැත්වෙන කඨින පූජෝත්සවය වෙනුවෙන් පිළිම වහන්සේට පැය කිහිපයකට සිවුරක් අන්දවා පූජා පැවැත්වීමට තමන් වහන්සේ කටයුතු කළේය..” යනුවෙන් විහාරාධිපති හිමි ප්‍රකාශ කර තිබෙනවා.

එමෙන්ම “තමන් වහන්සේගේ අනුදැනුම මත සිදුවූ මෙම පූජාව කිසිදු ආකාරයකින් බුදු පිළිමයට හෝ අනෙක් පුරාවිද්‍යා ස්මාරකවලට හානියක් කිරීමේ අරමුණින් සිදු නොකළ බවත් ය” යනුවෙන් විහාරාධිපති හිමි ප්‍රකාශ කර ඇති බව සඳහන්.

එමෙන්ම මෙම කඨින පූජාව වෙනුවෙන් සිවුරක් පැළඳවීම පිළිබඳ කල්වේලා ඇතිව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුවත් කිරීමට නොහැකි වූ බවයි විහාරාධිපති හිමි වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

මීට අමතරව මෙය අනවබෝධයෙන් සිදුවූ කටයුත්තක් බව උන්වහන්සේ පිළිගෙන තිබෙනවා.
(lknews.lk)